Simplicity Is The Ultimate Sophistication
ලංකා පටුන සමුද්‍රගිරි රජමහා විහාරය

ලංකා පටුන සමුද්‍රගිරි රජමහා විහාරය

 ලංකා පටුන

4h  · ලංකා පටුන සමුද්‍රගිරි රජමහා විහාරය ඊච්චලම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් කල්අඩි ප්‍රදේශය අපට හමුවන්නෙ ඊච්චලන්පත්තුවෙන් නැගෙනහිර දෙසට අතුරු පාරක යන විට. මේ ප්‍රදේශය එකල කොටි ත්‍රස්‌තවාදීන්ගේ අධිආරක්‍ෂිත ප්‍රදේශයක්‌ වගේ භාවිත කරපු ප්‍රදේශයක්‌. කල්අඩි ගම්මානය ඔවුන්ගේ රණවිරු ගම්මානයක්‌ වගේම, කොටිහඬ ගුවන් විදුලියත් පවත්වාගෙන ගිහිං තිබුණේ මෙහි. කල්අඩි පැරණි පාෂාණ පබ්බත විහාරය තමයි මේ කොටිහඬ තිබුණු තැන.

එහි සම්ප්‍රේෂණ කුළුණ ඉදිව තිබුණේ පාෂාණ පබ්බත විහාරයේ දාගැබ පිහිටි කඳුගැටය මත.එහි තවමත් මේ දාගැබේ පාදම හා නෂ්ටාවශේෂ දැකගත හැකියි. ඒ වගේම කොටිහඬ සම්ප්‍රේෂණාගාරය පිහිටි කන්ටේනර් පෙට්‌ටිය තමයි අදටත් විහාරයේ විහාරවාසීව වැඩවසන හිමියන්ගේ නවාතැන්පළ බවට පත්ව තියෙන්නේ.

ක්‍රිස්‌තු වර්ෂ පළමුවැනි සියවසේදී මහාදාඨ§ක මහානාග රජතුමා විසින් ඉදිකරන ලද බව කියන මේ පාෂාණ පබ්බත විහාරය අද නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ විහාරාධිපති හිමියන් විසින් පවත්වාගෙන යනු ලබනවා.ලංකා පටුන / සමුද්‍රගිරි විහාරයසුප්‍රකට ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරය අපට හමුවන්නෙ පාෂාණ පබ්බත විහාරය පසුකර මුහුදු අද්දරින් ඉදරියට ඇදෙන විට. මේ මාර්ගය එතරම් යහපත් තත්ත්වයක නැතත්, මුහුද බඩින් මුතූර් දක්‌වා ගමන් ගත හැකියි.

තවත් කිලෝමීටර් 7-8 ක්‌ ගියවිට අප බලාපොරොත්තුව පැමිණි ලංකා පටුන සමුද්‍රගිරි විහාරය අපට මුණගැහෙනවා. මෙය අන්කිසිවක්‌ නොව හේමමාලා- දන්ත කුමරුන් විසින් කළිඟු රට සිට මෙහි වඩමවාගෙන පැමිණි ශ්‍රී දළදා වහන්සේ මෙම පුණ්‍යභූමියට රැගෙන ආ ස්‌ථානයයි.කළිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරියත් ඇගේ සැමියාවූ උදේනි නුවර උදේනි රජු පුත් දන්ත කුමරුවන් යන දෙදෙනා (මොවුන් දෙදෙනා උදේනි රජුගේ දියණිය හා පුත් ලෙසද ඇතැම් විස්‌තර වාර්තාවල සඳහන් වේ) දඹදිව කාලිංග පුරයේ තාමුලිප්තයෙන් නැව් නැඟ, කිත්සිරිමෙවන් රජදවස බුදුන්වහන්සේගේ වාම දළදාවද සඟවාගෙන මෙසේ ලංකා පටුනට ගොඩබට බව දාඨාවංශය පවසනවා.ලංකා පටුන හෙවත් ඉලංකතුරෙයි ලෙස හැඳින්වෙන මෙතැන පුරාණ වරායක්‌ පිහිටි තැනක්‌ ලෙස සැලකෙනවා.

අලංකාර පෙනුමක්‌ සහිත සුවිශේෂී භූ ලක්‌ෂණයන්ගෙන් සමන්විත ලංකා පටුන සුවිසල් කලපුවක්‌ නිර්මාණය කරනවා. උලක්‌කාලේ නම් මේ කලපුව අද්දර සිට බටහිර පෙදෙස දෙස ඉතා ඕනෑකමින් බැලුවොත් සේරුවාවිල විහාරයත් දැකගත හැකියි. කලපුමෝය අද්දරම වම්පසින් කඳු ගැටයක්‌ පිහිටා තිබෙනවා. මේ තමයි සමුද්‍රගිර. ඉපැරණි ලංකා පටුන විහාරය තිබී ඇත්තේ මෙහි. කලපුව හරහා තිබූ පැරණි පාලම ත්‍රස්‌තවාදීන් විසින් පුපුරුවා හැරීම නිසා දැන් එහි තාවකාලික යකඩ පාලමක්‌ හමුදාව විසින් ඉදිකරනු ලැබ තිබෙනවා.

එයින් එගොඩව මේ වටිනා පුණ්‍ය භූමියේ අසිරිය විඳින්නත් ලංකා පටුන විහාරය වන්දනා කරන්නත් අප අමතක කළේ නැහැ. ඒ මත සිට දකින හාත්පස සුන්දරත්වය විඳින්න නම් ඔබත් ලංකා පටුනට එක්‌ වරක්‌වත් ගොඩවිය යුතුමයි.

Sampath Edirisinghe

Leave a Reply